ස්ත්‍රී වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසී ලැබීම මර්දනය කරනු ලබන ඔබ දැනගත යුතු නීතිමය හා ව්‍යවස්ථාපිත කරුණු.

 කාන්තාවන්ට එල්ලවන සෑම ආකාරයේම වෙනස්කම් ගණයට ස්ත්‍රී වෙළදාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යොදවා වාසි ලබා ගැනීම පෙන්වා දිය හැකි වේ.මේ සම්බන්ධව ඇති නීතීන් මත යම් පමණකට හෝ මේ තත්ත්වය අවම කරගත හැකිය යන්න පළමුව සදහන් කළ යුතුව තිබේ.එබැවින් ස්ත්‍රී වෙළදාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසි ලබා ගැනීම මර්දනය කරනු ව්‍යවස්ථා සම්පාදනය වැදගත් වේ.


බොහෝ රටවල මේ සම්බන්ධයෙන් පොදු නීතියක් දැකගත නොහැකි තත්ත්වයක් මත මේ තත්ත්වය නිසි ලෙස මැඩපැවැත්වීමට අසීරු තත්ත්වයකට පත්ව තිබේ.ලංකාව තුළද මේ ආකාරයේ ස්ත්‍රී වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් යම් යම් නීති රීති සකසා තිබුණත් මෙම තත්ත්වය සම්පුර්ණයෙන්ම පාහේ නැතිකර දැමිය හැකි නෛතික තත්ත්වයක් දැකගත නොහැකි වේ.

 

ලංකාවේ නීතියට අනුව යම් කිසි ස්ත්‍රියක් හෝ යම් කිසි පුද්ගලයෙක් තම පෞද්ගලික මට්ටමෙන් එකිනෙකාගේ කැමැත්ත මත ලිංගික කටයුතු වල වරදක් ලෙස අර්ථ දැක්වීමට නොහැකි වේ.එපමණක් නොව තම කාලත්‍රයා හැර වෙනත් අයෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම එනම් අනාචාරයේ හැසිරීමද අපරාධ නීතිය අනුව වරදක් නොවේ.කෙසේ වෙතත් අනාචාරයේ හැසිරීම වෛවාහික වරදක් ලෙස සැලකිය හැකි වන අතර එය දික්කසාද නඩුවකදී උපයෝගී කර ගනිමින් එකිනෙකා කෙරෙන් වෙන්වීමට භාවිතා කළ හැකි වේ .

 මුදලට හෝ යම් කිසි අරමුණක් මත ලිංගික කටයුතු වල යෙදීම නැතහොත් යෙදවීම සහ සදාචාරාත්මක කරුණු සම්බන්ධයෙන් විවිධ වූ නීති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ දැකගත හැකි වේ .තවද ඊට අදාළ අපරාධ නීතියේ මුලාශ්‍රය වන දණ්ඩ නීති සංග්‍රහය 1995,1998, සහ 2006 යන වර්ෂ වලදී ගෙන එන ලද සංශෝධන වලින්ද මේ සම්බන්ධව විශේෂ නීති තත්ත්වයන් හදුන්වා දී තිබෙනු දැකගත හැකි වේ.

ස්ත්‍රී වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීම කලින් කලට විවිධ මුහුණුවරයන්ගෙන් ක්‍රියාත්මක වන බැවින් ඊට සරිලන කාලීන නීතිරීති සකස් කිරීමක් සිදු වූ බව ඉහත කරුණු මගින් සනාථ වනු ලැබේ.

එබැවින් කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ සම්මුතියේ සවැනි වගන්තිය ප්‍රකාරව ලංකාව තුළද ස්ත්‍රී වෙළදාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීම හා එයින් විවිධ වාසි සහගත තත්ත්වයන් ලබා ගැනීම මර්දනයට විවිධ වූ ව්‍යවස්ථා සම්පාදනය කොට පියවර ගෙන ඇති බව වැඩි දුරටත් දැක ගත හැකි වේ .

ඉහතින් සදහන් කළ දණ්ඩ නීති සංග්‍රහයට අමතරව මේ සම්බන්ධව බල පැවැත්වෙන තවත් ප්‍රතිපත්ති ගණනාවක්ද දැකගත හැකි වේ.එහිදී වැදගත් වන සුවිශේෂී පනත් දෙකක් දැකගත හැකි වේ .එකී පනත් දෙක නම් ,

 

01. පාදඩ ආඥා පනත .

02.ගණිකා නිවාස ආඥා පනත .

03. 2005 අංක 34 දරණ ගෘහස්ථ හිංසන පනත.

04. දණ්ඩ නීති සංග්‍රහය.

 

 

01. පාදඩ ආඥා පනත.

 

මෙම පනත  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ඉංග්‍රීසි නීතිය යටතේ වර්ෂ 1841 දී හඳුන්වා දෙන ලද මුල්ම ව්‍යවස්ථාවලින් එකක් ලෙස හඳුන්වා දිය හැකි වේ.එහි දීර්ඝ නාමය ලෙස සඳහන් කර ඇත්තේ පාදඩයන්ට එරෙහිව පනවා ඇති නීති සංශෝධන සඳහා ගෙන එන ලද පනතක් බවයි.

 

එහෙත් මෙම පනතට අදාලව වාණිජමය ලිංගික ව්‍යාපාරවල සහ ඊට අනුරූප වැරදි සම්බන්ධයෙන් අදාළ වන වගන්ති කිහිපයක් ඇතුළත් ව තිබෙනු දැකගත හැකි වේ .එම නීති පදනම් කරගනිමින් ස්ත්‍රී වෙළඳාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීම හා යොදවා වාසි ලබාගැනීමේ තත්ත්වයන් මර්දනයට පියවර ගත හැකි වේ .එසේ නම් ඒ පිළිබඳව විමසා බලමු.

 

පාදඩ ආඥා පනත  9 වැනි වගන්තිය.

 

කිසියම් පුද්ගලයෙකු,

 

01.සම්පූර්ණයෙන්ම ගණිකා වෘත්තියෙන් හෝ ඉන් කොටසකින් මුදල් උපයාගෙන  ඒ බව දනිමින්ම ජීවත්වන තැනැත්තෙකු

 

හෝ

 

02. නීති විරෝධී හෝ අස්වාභාවික සංසර්ගයට ක්‍රමානුකූලව පුද්ගලයන් සපයා දෙන්නේ නම් එවැනි තැනැත්තෙකු වරදක් කරයි.

( උපුටාගැනීම පාදඩ ආඥා පනත ).

 

 

ඉහත සඳහන් නීති ප්‍රකාරව ස්ත්‍රීන් වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයා ගැනීම සහ මුදල් හා අනෙකුත් වාසි තකා ස්ත්‍රීන් වෙළඳාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තීයේ  යෙදවීම වරදක් වශයෙන් දැක්විය හැකි වේ.එවිට නීති විරෝධී ක්‍රියාවන් යටතේ අදාළ තැනැත්තාට හෝ තැනැත්තියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබාදීමට ලබා දීමට හැකි වේ.බොහෝ පුද්ගලයන් ගණිකා වෘත්තියෙන් මුදල් උපයා ගැනීමක් සිදුකරන අතර එලෙස සොයා ගන්නා මුදල් වලින් තම  දෛනික ජීවිතය සැපවත්ව ගත කරනු ලබයි.

 ඒ බව ඔවුන් ද ඉතාමත් හොඳින් දැනගෙන සිටින කාරණයකි.එවැනි ආකාරයේ පුද්ගලයන් පාදඩ ආඥා පනතේ 9 වන වගන්තියේ පළමුවන උප වගන්තිය  යටතේ වරදකරුවෙකු ලෙස නම් කොට හැකි අතර පනතට  අනුව ද ඔහු හෝ ඇය වරදකරුවෙකු බවට පත්වේ .

ගණිකා වෘත්තිය ව්‍යාපාරයක් ලෙස පමණක් නොව එයට අවශ්‍ය කරන පුද්ගලයන් සැපයීම ද පනතට අනුව වරදක් වේ.යම්කිසි තැනැත්තෙක් හෝ තැනැත්තියක් නීති විරෝධී හෝ අස්වාභාවික  සංසර්ගයන් ට පුද්ගලයන් සැපයීම හරහා හෝ  සැපයුම් කරන අවස්ථාවක නීතියේ රැහැනට අසු වීම හරහා පනත ප්‍රකාරව වරදකරුවෙකු ලෙස සලකා නීතියෙන් දඬුවම් කළ හැකි වේ.මේ ආකාරයට පාදඩ ආඥා පනතේ 9 වන වගන්තිය ප්‍රකාරව ස්ත්‍රී වෙළඳාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීම හා යොදවා වාසි ලබාගැනීමේ තත්ත්වයන් මර්දනය කරනු වස් යොදාගත හැකි ව්‍යවස්ථාපිත සම්පාදනයක් වශයෙන් මෙය පෙන්වා පෙන්වාදිය හැකි වේ.

මීලඟට මෙම තත්ත්වය තවදුරටත් මර්දනය කළ හැකි ව්‍යවස්ථාපිත කරුණක් පිළිබඳව විමසා බලමු.මෙම ව්‍යවස්ථාපිත කරුණ ඉහත සඳහන් පාදඩ ආඥා පනතේ දැකගත හැකි වන්නකි.පාදඩ ආඥා පනතේ 11 වන වගන්තිය හරහා ද මෙම තත්ත්වය මර්දනය කරගත හැකි වේ.

 

පාදඩ ආඥා පනත 11 වන වගන්තිය.

 

01.තමා භාරයේ සිටින ගැහැනු ළමයෙකු කන්‍යා දූෂණයට ,ගණිකා වෘත්තියට ,නීති විරෝධී මෙවුන්දම කට යොමු කරන්නේ නම් අදාළ එවැනි පුද්ගලයෙකු ,

 

02.කන්‍යා දූෂණයකට ලක්ව හෝ ගණිකා වෘත්තියට හෝ නීති විරෝධී මෙවුන් දමකට ලක්වූ ගැහැණු ළමයෙකු තවදුරටත් එම ක්‍රියාව කරගෙන යෑමට ඉඩ දීම හෝ උදව් කිරීම හෝ ධෛර්ය දීම නැතහොත් ගණිකාවන්  හෝ දුෂ්ට චරිතයක් ඇති පුද්ගලයකු ඇසුරු කරන යම් තැනැත්තෙකු වරදක් කරයි.

(උපුටාගැනීම පාදඩ ආඥා පනත)

 

වගන්තියේ  පළමුවන උප වගන්තිය ප්‍රකාරව යම් පුද්ගලයෙකු සමීපයේ සිටින ගැහැනු ළමයෙකු කුමන හෝ ලිංගික කාර්යයක් සඳහා යොමු කරනවා නම් ඔහුව නීතිමය වශයෙන් වරදකරුවකු බවට පත්වේ.තමා වෙත රැකියාවක් හෝ පෞද්ගලික කරුණක් සඳහා පැමිණි  ස්ත්‍රියක් ලිංගික ක්‍රියාකාරකම්වල  යෙදවීම පනතට අනුව සිදු කළ නොහැකිය.මේ ආකාරයේ සිදුවීම් සමාජය තුළ බහුලව සිදුවන අතර ස්ත්‍රීන් ද ලැජ්ජාව හා නීතිය පිළිබඳ නොදැනීම යන කරුණු කාරණා මත මෙවැනි කරුණූ සැගවීමක්ද සිදුකරනු ලබයි.

කන්‍යා දූෂණයකට හෝ නීති විරෝධී මෙවුන් දමකට ලක්  වූ ස්ත්‍රීන් එම හේතු සාධකයන් නිසාවෙන්ම නීති  විරෝධී ලිංගික ක්‍රියාකාරකම්  වල යොදවන ආකාරය සමාජය තුළින්ම වාර්තා වී තිබේ.තම පවුලේ සමීපතමයෙකු හෝ තම පෙම්වතාගෙන් මෙවැනි ආකාරයේ කන්‍යා දූෂණ හා නීති විරෝධී මෙවුන්දම් සිදුවිය හැකි අතර එක් වරක් සිදු වූ එම ක්‍රියාව අළලා ගනිමින් නැවත නැවතත් ඇයව නීති නීතිවිරෝධී ලිංගික චර්යාවන් වල යෙදවීමක් හා ගණිකාවන් වශයෙන් බාහිර සමාජයට යැවීමක් ද දැකගත හැකි වේ.

ඒ තුළින් මුල්‍යමය කරුණු වලට අමතරව වෙනත් වාසිදායක තත්ත්වයන් ද අදාළ පුද්ගලයන් ලබා ගනු ලැබේ.එවැනි ආකාරයේ පුද්ගලයන්ට පාදඩ ආඥා පනතේ 11 වන වගන්තියේ 2 වන උප වගන්තිය යටතේ නීතිමය පියවර ගත හැකි අතර එසේ සිදු කිරීම හරහා ස්ත්‍රීන් වෙළඳාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීම මර්දනය කරගත හැකි වේ.

 

02.ගණිකා නිවාස ආඥා පනත.

 

ස්ත්‍රී වෙළඳාම සහ ස්ත්‍රීන් ගණිකා  වෘත්තියේ යෙදවීම සහ යොදවා විවිධ වාසි වාසිදායක තත්ත්වයන් ලබා ගන්නා වූ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ හැකි තවත් වැදගත් පනතක් ලෙස ගණිකා නිවාස ආඥා පනත හඳුන්වා දිය හැකි වේ.පාදඩ ආඥා පනත පැනවීමෙන් වසර හතළිස් 48කට පසුව අධිරාජ්‍යවාදී පාලකයන් විසින්  1889 ජුනි 28 වන දින මෙම ආඥා පනත ක්‍රියාවට නැංවිණි.මෙම පනතේ යම් යම් නීති ප්‍රකාරව ස්ත්‍රී වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසි ලැබීම මර්දනය කිරීමට යම් යම් නෛතික තත්වයන් ලබා ගත හැකි වේ.

 

ගණිකා නිවාස ආඥා පනත  - 2 වගන්තිය.

 

2. (අ).ගණිකාවාසයක් පවත්වාගෙන යන්නා වූ  කළමනාකරණය කරන්නා වූ හෝ කළමනාකරණය සදහා සඳහා ක්‍රියා කරන්නා වූ හෝ ආධාර කරන්නාවූ හෝ

 

(ආ).යම් ස්ථානයක කුලී වැසියා , බදු ගැනුම්කරු පදිංචිකරු හෝ පරිචිත වෛශ්‍ය  කර්ම සඳහා භාවිත කරන බව දැනගෙනම ඒ සඳහා අවසර දෙන හෝ

 

(ඇ).යම් ස්ථානයක බදු ගැනුම්කරු හෝ ඉඩම් හිමියා හෝ එකී බදු ගැනුම්කරු ගේ හෝ ඉඩම් හිමියාගේ අනුයෝජිතයා වෙමින් එම ස්ථානය හෝ එහි යම් කොටසක් ගණිකා වාසයක් ලෙස භාවිතා කරන බව දනිමින්ම එය හෝ එහි යම් කොටසක් කුලියට දෙන හෝ එම ස්ථානය හෝ එහි යම් කොටසක් ගණිකාවසයක් ලෙස අඛණ්ඩව භාවිතා කිරීම සඳහා කැමැත්තෙන්ම පාර්ශ්වයක් වන

 

යම් තැනැත්තෙකු වරදකට වරදකරු විය යුතුය.  

                                                                                    (උපුටා ගැනීම ගණිකා නිවාස ආඥා පනත )

 

ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හා පාලනය කිරීම හා පවත්වාගෙන යෑමට සහාය වීම හරහා අදාළ පුද්ගලයන් ප්‍රමුඛවම බලාපොරොත්තු වනුයේ මුදල් උපයා ගැනීම වේ.එහෙම නිවාසයක ගණිකාවක් ලෙස ස්ත්‍රියක් තබාගෙන සිටිමින් ඔවුන් මුදලට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදවීම් සිදුකරයි නම් ඒ ක්‍රියා සිදු කරන තැනැත්තා මෙම වගන්ති යටතේ වරදකරුවෙකු වේ .

මෙම ආඥා පනතේ කිසිදු ස්ථානයක ගණිකා නිවාසයක් යන්න අර්ථ නිරූපණය කොට දක්වා නොමැත .එය ප්‍රබල ගැටළුවකි .ගණිකා නිවාසයක් යන්න කුමක්ද පිළිබඳව නිර්වචනය නොවීම මත අදාළ ලිංගික ක්‍රියාවන් සිදු කරන ස්ථානය සැබවින්ම ලිංගික ශ්‍රමය සපයන ගණිකා ස්ථානයක් ද  ද යන්න වටහා ගැනීමට එක්වරම නොහැකි වේ.

 

එහෙත් මීට කිසියම් ආකාරයකට අර්ථ දැක්වීමක් එසේත් නැතිනම් ගණිකා නිවාසයක් යන්න කුමක්ද යන්න පිළිබඳව ගණිකා නඩුවක් සම්බන්ධයෙන් එක්තරා විනිසුරුවරයෙකුට ලබාදුන් නඩු තීන්දුවක් භාවිතා කළ හැකි වේ.එහෙ පිළිබඳව විමසා බලමු.

 නඩුව - තුසේන් එදිරිව සිසිලියා 37 .එන් එල් ආර් 308.

විනිසුරු - සූට්ස් විනිසුරු.

 ඉහත සඳහන් නඩුව  වන තුසේන් ට එදිරිව සිසිලියා නඩුවේ දී සූට්ස් විනිසුරු ප්‍රකාශ කර තිබෙන්නේ ගණිකා නිවාසයක් බවට පත්වීමට නම් කාන්තා ඇසුර පතා මිනිසුන්  නිරන්තරයෙන් ගැවසෙන ස්ථානයක් විය යුතු බවයි.මේ ආකාරයට කාන්තාවන් ලබාගැනීමට  නිරන්තරයෙන් මිනිසුන් ගැවසෙන ස්ථානයක් ගණිකා නිවාසයක් වශයෙන් සලකා එයට  විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි වේ .තවත් නඩු වාර්තාවක් දෙස බැලීමේදී මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි කර ගත හැකිවේ .

 

නඩුව - ඩොරති සිල්වා එදිරිව පිටකොටුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති  78 එන් එල් ආර් 433.

 

ඩොරති සිල්වා එදිරිව පිටකොටුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති 78 එන් එල් ආර් 433 නඩුවේදි පහත පරිදි ගණිකා  නිවාසයක් යන්න අර්ථ නිරූපණය කර ඇත.සල් මල් නමින් වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානය බැලූ බැල්මට පෙනෙන්නට වූයේ මල් විකුණන වෙළෙඳ පොළක් ලෙසයි.නමුත් එහි හිමිකාර කාන්තාව කාන්තාවන්ගේ කළු සුදු , අඩ නිරුවත් ඡායාරූප ඇල්බමයක් පවත්වාගෙන යමින් එහි පැමිණෙන අයෙකුට  එම ඡායාරූප ඇල්බමය පෙන්වා අදාළ පුද්ගලයා  යම් කාන්තාවක් තෝරාගත් පසු මුදල් එම ස්ථානයට ගෙවීමෙන් අනතුරුව මුදල් ගෙවන්නා නම් කරන හෝටලයකට ඔහු විසින් තෝරා ගත් කාන්තාව යැවීම සපුමල් ව්‍යාපාරයේ ප්‍රධාන කටයුත්ත විය.

 මේ පිළිබඳව උපාය දූතයෙකු යොදා  පිටකොටුව දූෂණ මර්දන  අංශය සාර්ථක වැටලීමක් සිදුකර අධිකරණයට පැමිණිල්ලක් ගොනු කළ පසු ගණිකා නිවාස ආඥා පනතේ 2 වන වගන්තියේ සදහන් වරදේ  නෛතික මූලිකාංග ඔප්පු වී නොමැති නිසා චූදිතයන් නිදොස් කොට නිදහස් කර ඇත

 මේ පිළිබඳව අභියාචනාවක් ඉදිරිපත් කළ අතර එහිදී ඒකමතිකව තීරණය වූයේ සල් මල් ව්‍යාපාරික ස්ථානයේ සත්‍ය වශයෙන්ම ජීවමානව , ප්‍රායෝගිකව එම අවස්ථාවේ කාන්තාවන් සැපයීම සිදු නොවන නමුත් මෙම සමස්ත ක්‍රියාවලිය එක්ව ගෙන අර්ථ නිරූපණය කිරීමේදී ගණිකා නිවාස ආඥා පනත යටතේ  සඳහන් කාන්තාවන් මුදලට සැපයීමේ වරද සංස්ථාපනය වී ඇති බවයි.

ඒ අනුව ගණිකා නිවාස ආඥා පනතේ 2 වගන්තියේ  කුමක් සඳහන් වුවද එම ස්ථානයේදීම හෝ වෙනත් ස්ථානයකදී ගණිකා වෘත්තියෙහි  යෙදීම , අශිෂ්ට ක්‍රියා හෝ ලිංගික සංසර්ගය පිණිස එම ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක සිටින ස්ත්‍රීන් සපයන හෝ පින්තූර පෙන්වා කාන්තාවන් වෙනත් ස්ථානයකට සපයන ස්ථානයක්  ගණිකා නිවාසයක් බවට තීරණය කර ඇත.

එපමණක් නොව ගණිකා නිවාස ආඥා පනත මගින් යමෙකු වරදකරුවෙකු වූ විට ,

 

1.රුපියල් 50,000 කට නොඅඩු සහ රුපියල් දෙලක්ෂ පනස් දාහසක් නොඉක්මන දඩයක් හෝ අධිකරණයෙහි අභිමතය පරිදි මාස හයක් නොඉක්මවන කාලයක් බරපතල වැඩ රහිත හෝ සහිත බන්ධනාගාර ගත කරනු ලැබීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම හෝ

 

(2006 අංක 12  දරණ සංශෝධනය )

 

2.දෙවන හෝ තදනන්තර වරදකට වරදකරු කරනු ලැබූ විට රුපියල් 75,000 ක ට නොඅඩු සහ රුපියල් තුන්ලක්ෂ පනස් දහසක් නොඉක්මන දඩයකට හෝ අධිකරණයේ  අභිමතය පරිදි එක් අවුරුද්දක් නොඉක්මන කාලයක් බරපතල වැඩ   රහිත හෝ සහිත බන්ධනාගාර ගත කරනු  ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම,හෝ

 

එවැනි තැනැත්තකු එම වගන්තිය යටතේ වරදකරු කරනු ලැබූ විට අධිකරණය විසින් නියම කරනු ලබන්නාවු එවැනි දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීමකට අතිරේකව අධිකරණයට හැඟී යන පරිදි ඇපකරුවන් සහිතව හෝ රහිතව දොළොස් මසක් නොඉක්මන යම් කාලයක් සඳහා මනා හැසිරීමේ බැඳුම්කරයකට ඇතුළත් වන ලෙස අධිකරණය විසින් නියම කළ හැකි අතර ,ඇපකරුවන් සහිතව හෝ රහිතව එවැනි බැඳුම්කරයකට ඇතුලත් වීම පැහැර හරින එවැනි තැනැත්තකුට ඉහත සඳහන් කළ එවැනි යම් කාලයක් සඳහා වූ බන්ධනාගාර ගත කිරීමකට අතිරේකව තුන්මාසයක් නොඉක්මන කාලයක් බරපතළ වැඩ රහිත හෝ සහිත බන්ධනාගාර ගත කිරීමක් නියම කළ හැකිය .

 

3.යම් ගණිකා වාසයක  පාලකයා හෝ පාලිකාව ලෙස පෙනී සිටින , ක්‍රියා කරන හෝ හැසිරෙන හෝ භාරය, පාලනය හෝ කළමනාකරණය ඇති තැනැත්තෙකු වන ,යම් තැනැත්තෙකු එහි භාරකරු හෝ කළමනාකරු ලෙස සැලකීම සහ පිළිගැනීම කළ යුතු අතර එහි සැබෑ භාරකරු කළමනාකරු හෝ ඔහු හෝ ඇය නොවූවද  ඒ ආකාරයෙන් නඩු පවරනු ලැබීමට හා දඬුවම් ලැබීමට යටත් විය යුතුය.

මේ ආකාරයට මෙම පනත හරහා  ස්ත්‍රී වෙළඳාම හා ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසි ලැබීමේ තත්ත්වයන් මර්දනය කිරීමට මෙන්ම ගණිකා වෘත්තියද මර්දනය කිරීමට යම් යම් ව්‍යවස්ථාපිත සම්පාදනයන් සිදුකර ඇති බව ඉහත සඳහන් කරුණු කාරණා මගින් සනාථ වේ .

 

03. 2005 අංක 34 දරණ ගෘහස්ථ හිංසන පනත.

 

2005 අංක 34 දරණ ගෘහස්ථ හිංසන පනත හරහාද කාන්තාවන්ට කිසියම් ආකාරයක ආරක්ෂාවක් ලබා ගත හැකි වේ.කිසියම් කාන්තාවක, ඇයගේ සැමියා හෝ වෙනත් භාරකාරත්වයක් ඇති පුද්ගලයෙකු විසින් ඇයව කිසියම් ආකාරයක ලිංගික ක්‍රියාවක් සදහා යොමු කරවා වාණිජයමය වාසියක් ලබාගැනීමට හෝ එවැනි දෙයක් කිරීමට සූදානමක් ඇති බව ඇයට හැගී ගියහොත් ඒ සම්බන්ධයෙන් මෙම පනත හරහා අදාළ නීතිමය පියවර ලබාගනිමින් නීතියේ ආරක්ෂාව ලබා ගත හැකිය.මෙහි ඇති විශේෂත්වයක් නම් තමන්ට කිසියම් ආකාරයක වරදක් සිදු වේ යැයි අදාළ කාන්තාවට පෙර සිටම හැගී ගොස් ඒ සදහා සලකා බැලිය හැකි හේතු සාධක භාවිතා කරමින් වරදක් සිදු වීමට පෙරාතුව නීතියේ පිහිට ලබා ගත හැකි වීමයි.

 

එබැවින් ගෘහස්ථ හිංසන පනත නීතිමය වශයෙන් ඉතාමත් ප්‍රයෝජනකාරී නීති පනතක් බව පෙන්වා දිය හැකිය.කාන්තාවන්ට එරෙහිව සිදුවන කුට්ටනය කිරීම් හා ලිංගික හිරිහැර හා අපරාධ සම්බන්ධයෙන් මෙම පනතෙන් බොහෝ සේවාවක් ලබා ගත හැකි වන අතර ශ්‍රී ලංකාව තුළ මෙවැනි නීතිමය පනතක් තිබීම හරහා ඉතාමත් වැදගත් සේවාවක් සිදුවේ.

04.දණ්ඩ නීති සංග්‍රහය.

මෙම පනත හරහාද කාන්තාවන්ට සිදුවන කුට්ටනය කිරීම් හා ලිංගික ක්‍රියාවන් වැළක්වීම සම්බන්ධයෙන් යම් ආකාරයකින් නීතිමය දායකත්වයක් ලබා ගත හැකි වේ.පනත ප්‍රකාරව ඇති යම් යම් කරුණු කාරණා මුල් කරගනිමින් අදාල වැරදි සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර දැක්විය හැකිය.එබැවින් මෙයද ඉතාමත් වැදගත් වන්නා වූ පනතක් ලෙස පෙන්වා දිය හැකිය.

එබැවින් එම  ක්‍රමවේදයන් හරහා ස්ත්‍රී වෙළදාම හෝ ස්ත්‍රීන් ගණිකා වෘත්තියෙහි  යෙදවීමෙන් වාසි ලැබීම තරමකට මර්දනය කරගත  හැකිවේ .


ආශ්‍රිත මුලාශ්‍ර.


01. සිවිල් නඩු විධාන සංග්‍රහය.1992 , ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව.

02. අපරාධ නඩු විභාග සංග්‍රහය.1979 , ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව.

03. 2005 අංක 34 දරණ ගෘහස්ථ හිංසන පනත ,2005, ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව.

04. දණ්ඩ නීති සංග්‍රහය,1970, ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව.



සැකසුම සහ සටහන-  w.p.ලහිරු පතිරත්න.

                                 සමාජ විද්‍යා අධ්‍යන අංශය.(විශේෂවේදී උපාධි අපේක්ෂක දෙවන වසර)

                                 කැළණිය විශ්ව විද්‍යාලය.
                                 
                                 කැළණිය.          

Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ දියුණුවට දායක වූ විද්වතුන් පිළිබඳ විමසුමක්. - ලිපි මාලා අංක 01 ( එස් .ජේ. තම්බයියා මහතා.)

ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ දියුණුවට දායක වූ විද්වතුන් පිළිබඳ විමසුමක්. - ලිපි මාලා අංක 03 (බ්‍රයිස් රායන් මහතා.)