ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ දියුණුවට දායක වූ විද්වතුන් පිළිබඳ විමසුමක්. - ලිපි මාලා අංක 02(මහාචාර්ය ගනනාථ ඔබේසේකර මහතා.)
මොහු උපත ලැබූයේ 1930 වර්ෂයේ පෙබරවාරි මස 2 දින මතුගම දර්ගා නගරයේ මීගම ප්‍රදේශයේය.1955 දී ඔබේසේකර මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව සඳහා මූලික උපාධිය ලබා ගත් අතර පළමුව වොෂින්ටන් විශ්ව විද්‍යාලයේත්,දෙවනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ,තෙවනුව ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේත් මානව විද්‍යා මහාචාර්යවරයා ලෙස කටයුතු කර ඇත.මෙතුමා ගේ පළමු ශ්‍රේෂ්ඨ අධ්‍යයනය වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම පත්තුවේ පිහිටි මැදගම නම් ගම ආශ්‍රයෙන් සිදු කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයනයයි. එකී අධ්‍යයන අලලා රචනා වූ කෘතිය ලෙස ‘’LAND TENURE IN VILLAGE CEYLON ,sociological and historical study’’ නමුත් කෘතිය කෘතිය පෙන්වා දිය හැකි වේ .
මැදගම නම් ගම ආශ්‍රිතව ඉඩම් භුක්තිය හා ඥාතීත්වය අතර පවත්නා සබදතාවය කවර ආකාරයෙන් සකස් වී තිබේ ද යන්න එතුමා විසින් විග්‍රහ කරනු ලබයි.ලංකාවේ අනිකුත් පළාත් වල මෙන්ම දකුණු පලාතේද ඉඩම් භුක්තියද පාරම්පරිකව පියාගෙන් පුතාට හිමිවෙන බව ඔබේසේකර මහතා පෙන්වා දෙයි.විශේෂයෙන්ම දකුණු පළාතේ ඉඩම් හිමිකාරිත්වයේ දී එම ඉඩම් වල තනි අයිතිය පමණක් නොව සමූහ අයිතියද වැදගත් තැනක් ගන්නා අතර ගොඩ මඩ ඉඩම් විශාල ප්‍රමාණයක් හිමි වීම සමාජ ගරුත්වයටද හේතු වූ බව මෙම අධ්‍යනයන් හරහා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.තම ඉඩම් භුක්තිය පිළිබඳව සිදුකරන අධ්‍යයනයන්ගෙන් අනතුරුව මහාචාර්ය ඔබේසේකර මහතා විසින් ශ්‍රී ලංකාවේ බුද්ධාගම සහ ඊට සම්බන්ධ උප ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීම ආරම්භ කර තිබේ.
(ගනනාථ ඔබේසේකර මහතා.)
ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයෙකු වූ ‘’Richard gombrich’’ සමග එක්ව මොහු ලිවූ බුදුදහමේ පරිණාමය හා ශ්‍රී ලංකාවේ ආගමික වෙනස්වීම් යන ග්‍රන්ථය මේ සඳහා උදාහරණ වශයෙන් පෙන්වාදිය හැකි වේ.ප්‍රොතෙස්තන්ත්‍ර බුද්ධාගම නම් සංකල්පයක් ගැන මේ තුළ විග්‍රහයට භාජනය වී ඇති අතර අනගාරික ධර්මපාලතුමා ගෙන ගිය ව්‍යාපාරය සහ ඒ තුළින් මෙරට උපන් නව බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳ මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වී තිබේ.සිංහල බෞද්ධ ආගම පිළිබඳ අධ්‍යයනයෙන් පසුව ඔබේසේකර මහතා කතරගම දේව වන්දනයේ ව්‍යාප්තිය පිළිබඳ විමර්ශනය කිරීම ආරම්භ කරනු ලබයි.යම් යම් සංසිද්ධීන් කිහිපයක් නිසා කතරගම දෙවියන් සිංහල බෞද්ධයන් අතර ජනප්‍රිය වූ ආකාරය තම ක්ෂේත්‍ර පර්යේෂණ තුළින් පෙන්වා දී තිබේ.1815 දී ඉංග්‍රීසින් උඩරට අල්ලා ගැනීමත් සමඟ කන්ද උඩරට ජනප්‍රියව සිටි නාථ දෙවියන් එම ජනප්‍රියත්වයෙන් හීනවී ගොස් කතරගම දෙවියන් සාමාන්‍ය බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය වූ ආකාරය එම අධ්‍යනයන් හරහා වැඩිදුරටත් ඔබේසේකර මහතා පෙන්වා දෙනු ලබයි.
ශ්‍රී ලංකාව ක්‍රමයෙන් නාගරීකරණය වීමත් සමග ජනයා සිය දේශපාලන කටයුතුවලින් ජය ලැබීමට,වෙළෙඳ ව්‍යාපාර කටයුතු ආරක්ෂා කර ගැනීමට, ජනතාවගේ එදිනෙදා වැදුම් පිදුම් කටයුතු සිදු කිරීම සඳහා කතරගම දෙවියන් වන්දනාමාන කිරීමට ජනතාව පෙලඹී තිබෙන බව මෙම අධ්‍යයන හරහා සනාථ වී තිබේ.ශ්‍රී ලංකාවේ දේව වන්දනය පිළිබඳ සිදුකරන ලද තවත් වැදගත් පර්යේෂණයක් ලෙස පත්තිනි දේව සංකල්පය හා පත්තිනි ඇදහිල්ල පිළිබඳව සිදුකරන ලද පර්යේෂණය පෙන්වාදිය හැකි වේ.
එකී පර්යේෂණය ග්‍රන්ථයක් වශයෙන්ද සම්පාදනය වී ඇති අතර එකී ග්‍රන්ථය ලෙස ‘’THE CULTURE OF THE GODDESS PATTINI’’(1984) නම් ග්‍රන්ථය පෙන්වා දිය හැකි වේ.මෙම කෘතිය තුළ ඓතිහාසික පත්තිනි කතා පුවත,දරුවන් හා හා කාන්තාවන් සම්බන්ධයෙන් ආරක්ෂාව ලබා දෙන දෙවඟනක් වශයෙන් පත්තිනි දේවිය සැලකූ බවත් ඇය වෙනුවෙන් සිදුකරන ලද පූජා උත්සව පිළිබඳවත් මේ තුළ සඳහන් වේ.
මෙකී ක්ෂේත්‍රයන්ට අමතරව ඔබේසේකර මහතා විසින් කාලි ඇදහීම ,මිෂනාරි ව්‍යාපාරය ,මෙරට වැදි ජනතාව පිළිබඳවද වටිනා කියන ශාස්ත්‍රීය අධ්‍යයනයන් ගණනාවක් ද සිදුකොට තිබේ. ‘’THE WORK OF CULTURE’’ , ‘’KARMA AND REBIRTH’’ , ‘’ THE DOOMED KING ‘’ආදී වටිනා කියන ග්‍රන්ථයන් රාශියක් ද මෙතුමා මෙරට සමාජ විද්‍යා ක්ෂේත්‍රයට දායාද කර තිබේ.ඔබේසේකර මහතාගේ අධ්‍යනයන් තුළින් මෙරට සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ භාවිතයන් පිළිබඳවත් සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ඒ තුළින් සිදු වූ මහඟු සේවය පිළිබඳවත් මනාව අවබෝධ කරගත හැකි වේ.අවසන් වශයෙන් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ගණයේ සමාජ මානව විද්‍යාඥයෙකු ලෙස මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා හඳුන්වා දිය හැකි වේ .
ආශ්‍රිත මූලාශ්‍ර
01.https://en.wikipedia.org/wiki/Gananath_Obeyesekere.(2021/08/03)
02.https://en.wikipedia.org/wiki/Category:Sri_Lankan_sociologists.(2021/08/03)
සැකසුම සහ සටහන
w.p.ලහිරු පතිරත්න.
සමාජ විද්‍යා අධ්‍යන අංශය.(විශේෂවේදී උපාධි අපේක්ෂක දෙවන වසර)
කැළණිය විශ්ව විද්‍යාලය.
කැළණිය.

Comments
Post a Comment