ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ දියුණුවට දායක වූ විද්වතුන් පිළිබඳ විමසුමක්. - ලිපි මාලා අංක 03 (බ්‍රයිස් රායන් මහතා.)

 බ්‍රයිස් රායන් යනු ඇමරිකානු සමාජ විද්‍යාඥයෙක් වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන  අංශයක් ආරම්භ කරමින්  එහි ප්‍රථම මහාචාර්යවරයා ලෙස කටයුතු කර තිබේ.එහිදී සමාජ විද්‍යාව විෂයක් ලෙස ප්‍රථම වරට ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ වර්ෂ 1949 දී ය.

බ්‍රයිස් රායන්ගේ ආභාෂය යටතේ ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යාවේ ආරම්භක අවධිය පෝෂණය  වූයේ ඇමරිකානු සමාජ විද්‍යා සම්ප්‍රදායට අනුව වන අතර මොහු විසින් සමාජ විද්‍යාවට ක්ෂේත්‍ර අධ්‍යන ක්‍රමවේදයද හඳුන්වා දී තිබේ.බ්‍රයිස් රායන්ගේ ශාස්ත්‍රීය අංශය පිළිබඳව අවධානය යොමු කරන විට දැකගත හැකි සුවිශේෂී කාරණයක් වශයෙන් ඔහු තම පර්යේෂණයන් සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇති බව පෙන්වාදිය හැකි වේ .ලාංකීය සමාජයේ පවතින සුවිශේෂී තාවයන් පිළිබඳ විවරණය කිරීම එහි අරමුණක් වන අතර ලංකා සමාජයේ ඉතිහාසය ,ආගම , ඥාතීත්වය  සහ කුලය යන කාරණා පිළිබඳව සමාජ විද්‍යාත්මක පර්යේෂණ සිදුකර එකී කරුණ සනාථ කිරීම සඳහා මොහු විසින් උත්සාහ ගෙන තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1953 දී පමණ ප්‍රකාශයට පත් කරන ලද ‘’Cast in modern ceylon’’ යන කෘතිය අතිශය වැදගත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස පෙන්වා දිය හැකි වේ.මෙම කෘතිය හරහා ප්‍රබල ලෙසම බ්‍රයිස් රායන් අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලාංකීය සමාජය තුළ එවකට පැවති කුල කමය පිළිබඳ විමර්ශනය කිරීමයි.එහිදී ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ කුල ක්‍රමය ඉන්දියාව ආදි රටවල පැවති අමානුෂික ආකාරයේ උප්පත්තිය මත පදනම් වූ කුල ක්‍රමයක් නොව කරන ලද වෘත්තීය මත පදනම් වූ කුල ක්‍රමයක් බවයි.එනම් ගොවිතැන් කරන මිනිසුන් ගොවි කුලය  ද ,පේෂ කර්මාන්තයේ නිරත වූවන් සලාගම කුලය ද,ධීවර කර්මාන්තයේ යෙදුණු ජනතාව කරාව කුලයද, පොල් රා මැදීමේ නිරත වූ පිරිස දුරාව කුලය ද , අවි ආයුධ නිපදවීම් කටයුතු සිදු කළ ජනතාව ආචාරි කුලයද, පිරිසිදු කිරීම් කාර්යයන්වල නිරත වූ පිරිස් රජක කුලය ආදී වශයෙන් නියෝජනය කරන බව ඔහු පෙන්වා දී ඇත.මෙම කුල ක්‍රමය උපතේ සිට විවාහය දක්වා ද මරණය දක්වා ද වරප්‍රසාද ලැබීමේ දී  විශේෂයෙන්ම බලපෑම් සිදු කරන ලද අංගයක් ලෙස බ්‍රයිස් රායන් මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 මොහුගේ ‘’Cast in modern  Ceylon’’ නම් ග්‍රන්ථය තුළින් කුලක්‍රමය හා සම්බන්ධ වූ අවශේෂ  කරුණු කාරණා රාශියක් පිළිබඳව ද සාකච්ඡා කර තිබේ .ඒවා අතර

 

v කුලයන්ගේ ස්වභාවය

v ඒ ඒ කුලයට අයත් රාජකාරි සහ  සිංහල සමාජය සංවිධානය වී ඇති ආකාරය.

v සිංහල විවාහ ක්‍රමයන්,ඇඳුම් පැළඳුම් සහ සිරිත් විරිත් .

v ආගම, කෘෂිකර්මාන්තය සහ කුලයන්ගේ වෙනස් වීම්.

 බ්‍රයිස් රායන් පෙන්වා දෙන පරිදි සිංහල කුල ක්‍රමය තුළ බුදු දහමේ සබඳතාවයක් පවතී.එයට අනුව පුද්ගලයෙකු උපතින්ම බ්‍රාහ්මණයකු හෝ වසලයකු නොවන බවත් සෑම පුද්ගලයෙකුගේ ම  ක්‍රියාව අනුව සියල්ල තීරණය වන බවත් පෙන්වා දී තිබේ.එසේම එකල පැවති ආමන්ත්‍රණ විධි සහ ක්‍රමවේදයන් පිළිබඳවද බ්‍රයිස් රායන් තම අවධානය යොමු කර තිබේ .ඒ  අතර  පොඩි  නම , ලොකු නම ආදී  වචනයන් භාවිතා කර තිබෙනුයේ භික්ෂූන් වහන්සේලා සඳහාය.ඇත්තා සහ ඇත්තී යන වචනය  ඉතා ශුද්ධ සම්පන්න පුද්ගලයන් හැඳින්වීම සඳහා භාවිතා කර තිබේ.සාමාන්‍ය පුද්ගලයන් ආමන්ත්‍රණය කිරීම සඳහා උඹ/තෝ/ඌ යන පද මාලාවන් භාවිතා කර තිබේ.

 එපමණක් නොව බ්‍රයිස් රායන් විසින් කළුතර දිස්ත්‍රික්කයේ පැල්පොල ග්‍රාමය මුල් කරගනිමින් ද සිය අධ්‍යයන කටයුතු සිදු  කර තිබේ.එකී අධ්‍යන කටයුතුවල තොරතුරු අන්තර්ගත කරමින් වර්ෂ  1958 දී ‘’ Sinhalese village’’ නම් ශාස්ත්‍රීය ප්‍රකාශනය  සම්පාදනය කර තිබේ.එහිදී මොහු  විසින් සිංහල සමාජ ව්‍යුහය තුළ කුල ක්‍රමයේ  සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ.මේ වන විට කුල ක්‍රමයට එහා ගිය පන්ති ක්‍රමයක් නිර්මාණය වී ඇති බවත් උසස් කුල සහ පහත් කුල භේදයට වඩා ධනපති, මධ්‍යම, නිර්ධන ලෙස පන්ති ස්ථර වලට බෙදී තිබූ බවත් සඳහන් කර තිබේ.

ලාංකීය කුල ධූරාවලියේ දක්නට ලැබුණු සලාගම, කරාව ආදී කුලයන් බටහිර ජාතීන් සමග එක්වීමෙන් හා ඔවුන් සමග වෙළෙඳ කටයුතු වලට සහභාගි වීමෙන් උසස් කුල වලට වඩා වැඩි සමාජ අවස්ථා හිමිකරගෙන තිබූ බව තම අධ්‍යයනය තුළින් රායන් ප්‍රකාශ කර තිබේ. මේ අනුව ඉහත සදහන් කරුණු මගින් සමාජ විද්‍යාවේ භාවිත ක්ෂේත්‍රයන් හා ඒ හරහා බ්‍රයිස් රායන් මහතා සමාජ විද්‍යාවට ඉටු කළ අමිල සේවය පිළිබවද මානව පැහැදිලි වේ.


ආශ්‍රිත මූලාශ්‍ර. 


01.https://en.wikipedia.org/wiki/Category:Sri_Lankan_sociologists.(2021/08/03)


සැකසුම සහ සටහන- w.p.ලහිරු පතිරත්න.

                              සමාජ විද්‍යා අධ්‍යන අංශය.(විශේෂවේදී උපාධි අපේක්ෂක දෙවන වසර)

                              කැළණිය විශ්ව විද්‍යාලය.

                              කැළණිය.


 

Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ දියුණුවට දායක වූ විද්වතුන් පිළිබඳ විමසුමක්. - ලිපි මාලා අංක 01 ( එස් .ජේ. තම්බයියා මහතා.)

ස්ත්‍රී වෙළදාම සහ ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ යෙදවීමෙන් වාසී ලැබීම මර්දනය කරනු ලබන ඔබ දැනගත යුතු නීතිමය හා ව්‍යවස්ථාපිත කරුණු.